එදා නුවරකලාවියේ අනන්‍යතා ධජයක් පැවති බවත්, එම ධජය 18 වැනි සියවසේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් බුදු සසුන යළි නඟා සිටුවීම පරමාර්ථ කරගෙන නුවර පෙරහර සමාරම්භ කළ විට නුවරකලාවියේ ප්‍රධානියා වූ ‘දිසාව’ විසින් ධජය පෙරටු කරගෙන තම ප්‍රදේශවාසින් පිරිවරා පෙරහරට සහභාගී වූ බවත්, ආර්. ඩබ්ලිව්. අයිවර්ස් සඳහන් කරයි. මේ අනුව නුවරකලාවියේ සිංහල ධජයේ සලකුණ වූයේ ගජසිංහ රුවය. ඒ රුව ධජය මධ්‍යයේ පිහිටි අතර, ඒ රූපය පාදස්ඵලයක් මත සිටින ඇත් හිසකින් යුතු සිංහ රුවකි. ගජසිංහ රුව ගමනෙහි යෙදෙන එඩිතර සිංහ රාජයකුගේ කඳ කොටසින්ද, ඊට උඩින් සමාන්තරව හොඬවැල විහිදුවාගෙන පසුපස බලන ඇත් හිසකින්ද යුක්තය. මෙසේ වූ ඇත් හිස තුළින් ගම්‍යමාන වන්නේ නිරතුරු සෝදිසියෙන් යුක්ත, සුපරීක්‍ෂාකාරීභාවය මෙන්ම ශක්තියත්, වාසනාවත්, කාර්යක්‍ෂමභාවයත් ප්‍රකාශ කිරීමත් ලෙසටය විද්වතුන්ගේ මතය වන්නේ. තුන් පැත්තකින් පිහිටි වැව් තුනක අකුරු එක් කර නුවර වැවෙන් "නුවර" යන කොටසත්, කලා වැවෙන් "කලා" යන කොටසත්,පදවිය වැවෙන් "විය" යන කොටසත් එක්ව සැදුනු නුවර කලාවිය අනුරාධපුරය කේන්ද්‍ර කෙට ගෙන බිහි වී ඇත. 'නුවර කලාවිය' පාලනයේ පහසුව තකා 'පළාත්' තුනකට වෙන් කෙට ඇත: නුවරගම් පළාත, හුරුලුගම් පළාත, කලාගම් පළාත මේ එක් එක් 'පළාතක්' යළි කෝරළවලට බෙදා වෙන් කෙරිණ. 'නුවරගම් පළාත' කෝරළ හයකින් යුක්ත විය: නුවරගම් කෝරළය /කැඳෑ කෝරළය /කනදරා කෝරළය /එප්පාවල කෝරළය /කඩවත් කෝරළය /විලච්චිය කෝරළය 'හුරුලුගම් පළාත' කෝරළ හයකින් යුක්ත විය: කල්පේ කෝරළය /කුංචුට්ටු කෝරළය /මහපොතාන කො කෝරළය /උඩ්ඩියන්කුලම කෝරළය /උලගල්ල කෝරළය /මාටොඹුවා කෝරළය 'කලාගම් පළාත' කෝරළ පහකින් යුක්ත විය: උඳුරුව කෝරළය/ කිරලව කෝරළය/ නෑගම්පහ කෝරළය/ කලාගම් කෝරළය /මාමාණියා කෝරළය යි පළාත් තුන ප්‍රධාන කොටගෙන නුවරකලාවියේ එදා කෝරළ 17කට ආසන්න ප්‍රමාණයක් තිබු අතර ඒවා යළි 60කට ආසන්න තුලාන් සංඛ්‍යාවකට බෙදී තිබූ බව පෙනේ. මෙසේ එදා සිංහල පාලන ක‍්‍රමය කාලයක් පැවති අතර ඉංග්‍රීසි පාලන අණසකට නුවරකලාවිය සම්පුර්ණයෙන්ම නතු වී ඇත්තේ 1833 වසරේ බවට අනුරාධපුර ඉතිහාසය පෙන්වයි .